මම ප්‍රෙග්නට් කියලා නොදැන ආරාධනා කරන අය ඉන්නවා..

 මුතු තරංගා කියන්නේ ලස්සන රූපයක් තියෙන ආදරණිය රංගන ශිල්පිණියක්. මේ වෙද්දී ඇය අම්මා කෙනෙක් වෙන්න සුදානමින් ඉන්නවා. ළඟදීම දරු සුරතල් බලන්න නොවිසිල්ලෙන් ඉන්න මුතූ ඊට පස්සේ රංගනයට සමු දෙයිද දන්නේ නැහැ. ඒ ගැන වගේම ඇයගේ අලුත් තොරතුරු ගැන කතා කරන්න අපි මුතූව කතාබහකට එකතු කරගත්තා. මේ ඇයගේ තොරතුරු ගැනයි.





මුතූ කොහොමද ජිවිතේ, මේ දවස්වල නිදහස් පාඩුවේ ජීවිතය ගෙවනවා ඇති නේද..?

කොරෝනා තත්වය එක්ක කොහොමත් ගෙදරට වෙලා පරිස්සමින් ඉන්නවා. අනිත් හේතුව පරිස්සමින් ඉන්න ළඟදීම අපේ ගෙදරට දරු පැටියෙක් එන නිසා. බබා ලැබෙන්න ලඟයි. ඒ නිසා කොහොමත් පරිස්සමින් කලා බිලා සතුටින් නිදහසේ ජිවත් වෙනවා.

පුංචි පවුල සම්පුර්ණ කරන්න එන්නේ දුවෙක්ද පුතෙක්ද, කැමැත්ත තියෙන්නේ දුවෙකුටද පුතෙකුටද..?

මමයි සැමියයි දෙන්නම හිතන්නේ දුවෙක් වුණත් පුතෙක් වුණත් කමක් නැහැ කියලා. මොකද කොයි දරුවා ආවත් අපිට විශේෂයි. අපිට මොන දරුවෙක්ද ලැබෙන්නේ කියලා දන්නවා. නමුත් නොකියා ඉමු. අපේ පුංචි පවුල සම්පුර්ණ කරන්න එන දරුපැටියව ආදරෙන් බලාගන්න එක තමයි අපේ එකම බලාපොරොත්තුව.

මවක් වෙනවා කියන්නේ තව ජිවිතයක වගකීමක් ගැනීම, අලුත්ම අත්දැකීමට මුහුණ දෙන්න බයක් එහෙම නැද්ද..?

දරුවෙක් ලැබෙන්න ඉන්නේ කියලා දැනගත්ත මොහොතේ ඉදලා මේ මොහොත වෙනකල් මම ඉන්නේ සතුටින්, දරුවා ලැබෙන මොහොත ගැන මම බයකින් නෙමෙයි ඉන්නේ. ඒක මට අලුත් අත්දැකීමක්. ඒක ඇත්ත. නමුත් කිසි දෙයක් ගැන මම ඕනවට වඩා හිතන්නේ නැති නිසා වෙන්න ඇති දරු ප්‍රසුතිය ගැනත් බයක් හිතෙන්නේ නැත්තේ. නමුත් වගකීම කියන එක නම් ජිවිතේට දැනෙයි.

කොහොමද ලෑස්තිය..?

සියලු දේ මේ වෙද්දී සුදානම් කරලා තියෙන්නේ. දරුවාගේ ඇඳුම් මගේ අම්මා සහ නංගි මහලා දුන්නා. මගේ ඇඳුම් නම් මමමයි හදා ගත්තේ.

දරුවාගේ වඟකීමත් එක්ක මුතූ කියන රංගන ශිල්පිණිය ඉදිරියේදී දැකගන්න නොලැබෙයිද..? රංගනයෙන් සමු ගන්නද බලාපොරොත්තුව..?

මට ආදරේ කරන රසිකයින් මාව නොදැක්ක ගමන් ඇයි දකින්න නැත්තේ කියලා අහනවා. ඒ ආදරේ මම නැති කරගන්න කැමති නැහැ. ඒ ආදරේ ලැබෙන්නේ මම රංගනයට දායක වෙන නිසානේ. ඒ නිසා ඉදිරියේදී රංගනයට සම්බන්ධ වෙනවා. මට මේ දවස්වලත් ගොඩක් නිර්මාණ වලට ඇරයුම් ලැබුණා. මම ප්‍රෙග්නට් කියලා නොදැන. මම ප්‍රෙග්නට් වුණු නිසා ඒ සියලු ආරාධනා ප්‍රතික්ෂේප කළා. නමුත් රංගනයට සමු දෙන්න අදහසක් නැහැ.

මවක් නිසා ඉදිරියේදී චරිත තෝරා ගැනීම් කරයි නේද..?

පුංචි තිරයේදී නම් තෝරා ගැනීම් කරන්න දෙයක් නැහැ. ජනතාවට පෙන්නන්න පුළුවන් නිර්මනනේ පෙන්නන්නේ. නමුත් සිනමාපටයකට ආරාධනා ලැබුණොත් නම් තෝරා ගැනීමක් කරනවා. ජනතාවට සමීප චරිත කරන්න.

ඔබෙත් සමියාගේත් ආදරයට වසර 17ක් වෙනවා. දැන් නම් ඔබව ඔහු ගොඩක් ආරක්ෂිතව බලා ගන්නවා ඇති..?

ආදරේ නම් ටිකක්වත් අඩු වෙලා නැහැ. මට පොඩි වැඩක්වත් කරන්න ඉඩ නොදී ආදරෙන් බලා ගන්නවා. කෑම පවා හදන්නේ එයා තමයි. ඒ නිසා කනවා බොනවා නිදා ගන්න එක තමයි මම කරන්නේ. ඒ තරම්ම හොඳින් මාව බලා ගන්නවා.

නිළියකගේ පැවැත්මට රූපය බලපානවා කියනවා, දරුවා ලැබුණට පස්සේ මුතූට රූපය ගැන හිතන්නත් වෙනවා නේද..?

මගේ රූපය ගැන හිතනවාට වඩා මම දරුවා ගැන බලන්න ඕන. මට වටින්නේ දරුවා. නමුත් හැමෝම කියන්නේ මම ප්‍රෙග්නට් වුණාට කිසිම විදිහකට මගේ රූපයේ වෙනසක් වෙලා නැහැ කියලා. මම මහත් වෙලත් නැහැ. ඉස්සර ඉදලා මම ව්‍යායාම් කරපු නිසා මගේ ශරීරය මේන්ටේන් කරන්න පුළුවන්. එහෙම නැතත් ඒ ගැන හිතන්නේ නැහැ. කොහොමත් රූපය දිරන එකනේ වෙන්නේ.

විවාහ වෙලා කාලයක් ගියා ඔබට මවකගේ සිහිනය සැබෑ කරගන්න, ඒ නිසාම ඔබට බොහෝ දෙනෙක් සුබ පැතුම් එක්කරමින් සතුට ප්‍රකාශ කරා කියලා ආරංචියි..?

කලා ක්ෂේත්‍රයේ බොහෝ දෙනෙක් තවමත් මට කෑම බිම හදාගෙන එනවා. ඒ වගේම සුබ පැතුම් එක් කළා. කලාකරුවෝ විතරක් නෙමෙයි සාමාන්‍ය බොහෝ දෙනෙක් මට කෑම හදාගෙන ආවා. ඒ අතර බබාලා නැති අය ඉන්නවා, බබාලා බලාපොරොත්තුවෙන් ඉන්න අය ඉන්නවා. දරුවෝ හදන්න බැරුව දුක් වෙන අය ඉන්නවා. ඒ නිසා මේ ආත්මේ බැරි නම් ලබන ආත්මේ හරි දරුවෙක් ලබන්න වාසනාව හිමි වෙන්න කියලා මම ප්‍රර්ථනා කරනවා.

අකිල ජයවර්ධන​

Post a Comment

Previous Post Next Post